
ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ව ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය (SLPCA) නමින් නව ක්‍රීඩක නියෝජිත සංවිධානයක් පිහිටුවා තිබෙනවා.
මෙම නව සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පිරිමි එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.
“මෙවැනි වැදගත් අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කිරීම සඳහා SLPCA පිහිටුවීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්, පරිවර්තන කමිටුව සහ අනෙකුත් පාර්ශ්ව සමඟ ඵලදායී සහ සහයෝගීව කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.”
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද මෙම නව සංගමය පිහිටුවීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
“ක්‍රීඩක සංගමයක් පිහිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් වැදගත් ඉදිරි පියවරක්. ලොව අනෙකුත් ක්‍රීඩා සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් ඵලදායී ක්‍රීඩක නියෝජනයක් ලබාගැනීමට මෙය අවස්ථාවක්.”
බිනුර ප්‍රනාන්දු සහ වනිඳු හසරංග ද මෙම වැඩපිළිවෙළට සහය පළ කර ඇති අතර, ක්‍රීඩකයන් වෙනුවෙන් සාමූහික හඬක් ලබාදීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සංවර්ධනයට මෙම සංගමය වැදගත් වනු ඇති බව සඳහන් කර තිබෙනවා.
SLPCA පවසන්නේ ක්‍රීඩක සංගම් ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් ක්‍රීඩකයන් සාමූහිකව නියෝජනය කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීම, සුබසාධනය සහ වෘත්තීය සංවර්ධනයට සහාය වීම මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බලපාන තීරණ සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට හඬක් ලබාදීම සිදුකරන බවයි.
වාර්තා අනුව නව ශ්‍රී ලංකා ක්‍රීඩක සංගමය වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් නියෝජනය කරන ගෝලීය ආයතනය වන World Cricketers’ Association (WCA) සමඟ සම්බන්ධ වී ඇති බවද සඳහන්.
මේ වනවිට ලොව ප්‍රමුඛ ක්‍රිකට් රටවල් 19න් 17ක වත්මන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් 750කට වැඩි පිරිසක් WCA වැඩසටහන් සඳහා සම්බන්ධ වී සිටිනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද එම වැඩසටහනට එක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය ඇතුළු රටවල ක්‍රීඩකයන් සමඟ එක්වනු ඇති.
