
2026 ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 75කින් ජය ගත්තේය.
එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු පහකට කඩුලු 7ක් දවා ගනිමින් තරගාවලි ඉතිහාසයේ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක් වූවාය.
ඩුබායිහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 124ක් රැස් කළ අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 50ක් රැස් කළාය.
තරගය ආරම්භයේ සිටම පන්දු යැවීමේදී චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල විය.
ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගත්තේද චමරි අතපත්තු ය.
ඉන් අනතුරුව තරගයේ පස්වැනි පන්දුවාරයේ පළමු සහ දෙවැනි පන්දුවලදී අඛණ්ඩව කඩලු දෙකක් දමා ගනිමින් චමරි කඩුලු ත්‍රිත්වය ආසන්නයට ම පැමිණියා ය.
කෙසේ නමුත් ඇයට එම අවස්ථාවේ කඩුලු දෙකකින් සෑහීමට පත් වීමට සිදුවිය.
චමරි තරගයේ 18 වෙනි පන්දු වාරය ක්‍රියාත්මක කිරීම අරඹනවිට ප්‍රතිවාදී ඉන්දුනීසියාවේ කඩුලු හතක් ලකුණු 46කදී බිඳ වැටී අවසන්ව තිබිණි.
18 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී චමරි තම පස් වෙනි කඩුල්ල දවා ගත්තාය.
ඉන් අනතුරුව එම පන්දු වාරයේ පිළිවෙළින් දෙවැනි සහ තුන්වෙනි පන්දුවලදී ද ක්‍රියාත්මක වූ චමරි ඉදුනීසියාවේ අවසන් කඩුලු දෙක දවා ගනිමින් පෙර අවස්ථාවේදී අහිමි වූ කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් වූවා ය.
පළමු අවස්ථාවේදී ද ඇයට කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළ හැකි වූවා නම්, එක් තරගයකදී කඩුලු ත්‍රිත්ව දෙකක් ලබා ගත් පන්දු යවන්නියක ලෙස අසමසම වාර්තාවක් පිහිටුවීමට චමරි අතපත්තුට අවස්ථාවක් තිබිණි.
ඒ අනුව පන්දු වාර තුනයි පන්දු තුනක් ක්‍රියාත්මක කළ චමරි ප්‍රතිවාදී කඩුලු හතක් දවාගත්තේ ලකුණු පහක් පමණක් ලබා දෙමිනි.
එම තරගයේදී ඇගේ පන්දු යැවීමේ සාමාන්‍ය (economy rate) 1.42ක් ලෙස සටහන් විය.
ඒ අනුව මෙම තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ සාර්ථකම පන්දු යැවීම මෙය වේ.
එමෙන් ම චමරි, පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයේ පිටියේ පන්දු යැවීමේ අංශයෙන් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවද මෙය වේ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් පන්දුවාර 20/20 තරග පිටියේ කඩුලු 7ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසටද මෙය වාර්තා අතරට එක් විය.
පන්දුවාර 20/20 කාන්තා ජාත්‍යන්තර තරග අංශයේ පස්වැනි හොඳම පන්දු යැවීම ලෙසද චමරි (සැප්තැම්බර් 02 වැනිදා) ලබාගත් කඩුලු 7 සටහන් විය.
දකුණතින් පිට දඟපන්දු (Right-arm off break) යවන ක්‍රීඩිකාවක වන චමරි ඊයේ වාර්තා අතරට එක් වුණේ පන්දු වාර 20/20 තරග අංශයේ කඩුලු ත්‍රිත්වයක් හෙවත් හැට්රික් එකක් ලබාගත් පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නිය ලෙසය.
