2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අහිමි වී තිබේ. 
නවසීලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ ප්‍රතිඵලත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවශ්‍ය ස්ථානයට ළඟා වීමට අපොහොසත් වූ අතර, ඒ අනුව 2027 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට (World Cup Qualifier) සහභාගි වීමට සිදුවනු ඇත.
නවසීලන්තය හමුවේ සිව්වැනි එක්දින තරගය පරාජය වීමත් සමඟ කොදෙව්වන්ට ICC ODI ශ්‍රේණිගත කිරීම්වල තවමත් 10 වැනි ස්ථානයේ රැදී සිටීමට සිදුවී තිබෙනවා.
2027 ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබන්නේ සත්කාරක රටවල් හැරුණු විට ඉහළම කණ්ඩායම් 8 යි.
මෙය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ තවත් දැඩි පසුබෑමක් ලෙස සැලකෙයි.
මීට පෙර 2023 එක්දින ලෝක කුසලානයටද ඔවුන් සුදුසුකම් ලැබීමට අසමත් වූ අතර, දැන් අඛණ්ඩව දෙවැනි වරටත් ප්‍රධාන තරගාවලියට පිවිසීම සඳහා සුදුසුකම් තරගවලට මුහුණ දීමට සිදුව තිබේ.
දෙවරක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නැවතත් ලෝක කුසලාන වේදිකාවට පැමිණීම සඳහා දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන අතර, ඔවුන්ගේ 2027 ලෝක කුසලාන සිහිනය රඳා පවතින්නේ ඉදිරි සුදුසුකම් තරගාවලියේ දක්ෂතා මතයි.
ඉදිරියේදී පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන – අයර්ලන්ත තරගාවලියේ ප්‍රතිඵල කොදෙව්වන්ගේ ලෝක කුසලාන ගමනට තීරණාත්මක විය හැකියි.
