ආසියානු ක්රිකට් කවුන්සිලය (ACC) 2026 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ.
අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 8ක් එක්වෙයි.
තරගාවලියේ ආරම්භක තරගයේදී හොංකොං චීනය සහ තායිලන්තය අගෝස්තු 28 වැනිදා මුහුණ දෙන අතර, වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය B කාණ්ඩයේදී සැප්තැම්බර් 6 වැනිදා තරග වදින අතර, එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් ලෙස ඉන්දුනීසියාව සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්යය එක්ව සිටියි.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙකුත් සියලුම කණ්ඩායම් සමඟ එක් වරක් බැගින් තරග කරන අතර, එක් එක් කාණ්ඩයේ ඉහළම ස්ථාන දෙක දිනාගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
අවසන් පූර්ව තරග සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පැවැත්වෙන අතර, අවසන් මහා තරගය සැප්තැම්බර් 13 වැනිදා රාත්රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
මෙය කාන්තා ආසියානු කුසලානයේ T20 ආකෘතිය යටතේ පැවැත්වෙන 6 වැනි තරගාවලියයි.
වත්මන් ශූරියන් වන්නේ ශ්රී ලංකාව වන අතර, බංග්ලාදේශය 2018 වසරේ ශූරතාව දිනාගෙන තිබේ.
ඉන්දියාව 2012, 2016 සහ 2022 වසරවල ශූරතාව දිනාගෙන තරගාවලි ඉතිහාසයේ වැඩිම ශූරතා හිමිකරගත් කණ්ඩායම ලෙස පවතී.