සාමාන්යයෙන් පිතිකරුවන් දැවී යන්නේ පන්දුවෙන්. හැබැයි මේ සැරේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ ඇඟිලිවලින් ශබ්දයක් (Finger Click) ඇති කරලා පිතිකරුවා රැවටූ බවටයි.
එංගලන්තයේ North Yorkshire and South Durham Cricket League තරගයකදී, Saltburn දෙවැනි කණ්ඩායම සහ Norton කණ්ඩායම අතර තරගයේදී මේ සිදුවීම වාර්තා වෙලා තිබෙනවා.
සමාජ මාධ්යයේ මිලියන 3කට වැඩි පිරිසක් නරඹා ඇති වීඩියෝවෙන් පේන්නේ, පිතිකරු නෝමන් ශබීර් පන්දුවට පහර දීමට සූදානම් වන මොහොතේ පන්දු රකින්නෙක් හිතාමතාම ඇඟිලිවලින් ශබ්දයක් කරන ආකාරයයි.
ඊට පස්සේ කඩුලු රකින්නා පන්දුව රැකගන්නවා. විනිසුරුවරයාත් පිතිකරු උඩපන්දුවක් ලබාදී දැවී ගිය බවට තීරණය කරනවා.
මේ සිදුවීම ගැන පැමිණිල්ලක් ලැබුණු පසු, North Yorkshire and South Durham Cricket League නිල වශයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විමර්ශනය අවසන් වන තෙක් වැඩිදුර අදහස් දක්වන්නේ නැහැ කියලත් ඔවුන් ප්රකාශ කරලා තියෙනවා.
ඒ අතරේ, Saltburn කණ්ඩායම ක්රීඩා කළ මීට පෙර තරග කිහිපයක් ගැනත් චෝදනා එල්ල වෙලා තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ක්රිකට් ක්රීඩාවේ “Spirit of Cricket” ගැන නැවතත් ලෝකයේම අවධානය යොමු කරපු මේ සිදුවීමේ ඇත්ත මොකක්ද කියලා දැන් හැමෝම බලාගෙන ඉන්නේ විමර්ශනවල ප්රතිඵල එනකල්.