Where the Life Meets Cricket

info@cricketlk.com

ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. 

38 හැවිරිදි මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට්වලට අමතරව පළමු පෙළ සහ ලිස්ට් A ක්‍රිකට් තරගවලින්ද ඉවත් වීමට තීරණය කර ඇති අතර, ඉදිරියේදී බිග් බෑෂ් ලීගයේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. 
 
ඒ අනුව 2027-28 තරග වාරය දක්වා ඔහුගේ ගිවිසුම දීර්ඝ කර තිබෙනවා.

මැක්ස්වෙල් මීට පෙර 2025 වසරේ ජුනි මාසයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කළා. 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේදීද ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කළ අතර, ඕමානයට එරෙහිව පැවති තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත්වුණා. 

“මගේ රට වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කිරීමට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමුගැනීමේ තරගයක් ලැබේවි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබුණා. නමුත් කණ්ඩායම ඉදිරියට ගෙන යන දිශාව මට සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන්” යනුවෙන් මැක්ස්වෙල් සඳහන් කර තිබෙනවා.

2015 සහ 2023 එක්දින ලෝක කුසලාන ජයග්‍රහණ ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වල සාමාජිකයෙකු වූ මැක්ස්වෙල්, 2021 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේද ප්‍රධාන සාමාජිකයෙක් වුණා.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 130කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 2,897ක් සහ කඩුලු 51ක් ලබාගෙන තිබෙනවා. එහිදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 154.42ක්.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල ශතක 5ක් රැස්කර ඇති මැක්ස්වෙල්, රෝහිත් ශර්මා සමඟ එම ආකෘතියේ වැඩිම ශතක ලාභීන්ගේ ලෝක වාර්තාවටද හිමිකම් කියනවා. ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ශතකයක්ද සමඟ ලකුණු 339ක් රැස්කර තිබෙනවා.

වසර ගණනාවක් පුරා තම අසාමාන්‍ය පිතිකරණයෙන් සහ තුන් ඉරියව් දස්කම්වලින් ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන මතක රැසක් එක් කළ මැක්ස්වෙල්ගේ ජාත්‍යන්තර සමුගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් රසිකයන්ට සංවේදී පුවතක් වනු නොඅනුමානයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *