Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම පෙරළියට ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලොව පළමු Test Twenty තරගාවලිය නොවැම්බර් 14 සිට 29 දක්වා කොළඹ සිංහලීස් ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වීමට නියමිතය.
 

පිරිමි සහ කාන්තා තරග දෙකම එක් අවසන් ප්‍රතිඵලයකට ඒකාබද්ධ කරන නව ක්‍රිකට් ආකෘතියක් වන Test Twenty, ක්‍රිකට් ක්‍රීඩාවේ සිව්වැනි ආකෘතිය ලෙස සංවිධායකයන් විසින් හඳුන්වා දී තිබේ. මෙහිදී රතු පන්දුව සහ සුදු පන්දුව යන දෙකම භාවිත කරමින් එක් දිනක් තුළ පන්දුවාර 80ක තරගයක් පැවැත්වීම විශේෂත්වයකි.

 

ඔක්තෝබර් 16 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, ලොව පුරා සිටින වයස අවුරුදු 13ත් 21ත් අතර යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකු මෙම තරගාවලියට එක්වන අතර, ඔවුන් මහාද්වීප හතරක් නියෝජනය කරන කණ්ඩායම් හතරකට බෙදා තරග වදිනු ඇත.

 

එක් කණ්ඩායමකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු ඇතුළත් වන අතර, ඒ අතරට පිරිමි ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඇතුළත් වේ. පිරිමි සහ කාන්තා කණ්ඩායම් වෙන වෙනම ක්‍රීඩා කරන අතර, ඔවුන් ලබාගන්නා ලකුණු ඒකාබද්ධ කර කණ්ඩායමේ අවසන් ලකුණු සංඛ්‍යාව තීරණය කෙරේ.

 

නව තරග ආකෘතිය යටතේ එක් තරගයකදී පන්දුවාර 80ක් ක්‍රියාත්මක කෙරේ. පළමු පන්දුවාර 40 දිවා කාලයේදී රතු පන්දුවෙන් සහ සාම්ප්‍රදායික සුදු ඇඳුමින් ක්‍රීඩා කෙරේ.

 

ඉතිරි පන්දුවාර 40 විදුලි ආලෝකය යටතේ සුදු පන්දුවෙන් සහ වර්ණවත් ක්‍රීඩා ඇඳුමින් ක්‍රීඩා කරනු ඇත.

 

තරගයේ දෙපිලේම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලබාගන්නා ලකුණු එකට එකතු කර ජයග්‍රාහකයා තීරණය කෙරේ. ඒ අනුව, පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ලබාගන්නා ලකුණු අවසන් ප්‍රතිඵලයට සමාන දායකත්වයක් ලබාදෙනු ඇත.

 

කාසියේ වාසිය මගින් පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම තීරණය කරන අතර, පළමුව ක්‍රීඩා කරන්නේ පිරිමි කණ්ඩායමද නැතහොත් කාන්තා කණ්ඩායමද යන්නද තීරණය කෙරේ.

 

සංවිධායකයන් සඳහන් කළේ පසුගිය දින 300ක කාලය තුළ මහාද්වීප පහකින් යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් තේරීම් පරීක්ෂණ සඳහා සහභාගී වූ බවයි. අවසන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනාගේ නම් මෙම මාසයේ අගභාගයේදී පැවැත්වෙන ක්‍රීඩක තේරීම් කෙටුම්පත් ක්‍රියාවලියක් (Draft) හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරු වන AB de Villiers, Matthew Hayden සහ Sir Clive Lloyd මෙම තරගාවලියේ උපදේශක මණ්ඩලයට ඇතුළත් වෙති. ඉන්දීය පිතිකරණ තරුවක් වන විරාට් කෝලිගේ පුහුණුකරු ලෙස ප්‍රසිද්ධියට පත් Rajkumar Sharma, ගෝලීය ක්‍රීඩක තේරීම් කමිටුවේ සභාපතිත්වය දරයි.

 

Test Twenty තරගාවලියේ නිර්මාතෘ Gaurav Bahirvani පැවසුවේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් පාසල් ක්‍රිකට් සංස්කෘතිය සහ ක්‍රීඩාව කෙරෙහි මෙරට ජනතාව දක්වන උනන්දුව හේතුවෙන් පළමු තරගාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගත් බවයි.

 

“අපිට මේ තරගාවලිය සඳහා සුදුසුම නිවහන හමුවුණා. ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් තරගයක් නැරඹීමට පවා ක්‍රීඩාංගණ පිරී ඉතිරී යනවා. මේ දූපතේ ජනතාව තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්වන ආදරය තරම් ආදරයක් ලොව වෙනත් කිසිදු රටක දකින්නට නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

 

මෙම ව්‍යාපෘතියට සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ SSC පරිපාලනයටද Bahirvani සිය ස්තුතිය පළ කළේය.

 

තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සමාරම්භක උත්සවයකින් ආරම්භ වන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. නොවැම්බර් 30 වැනිදා අමතර දිනයක් ලෙස වෙන්කර තිබේ.

 

සියලුම තරග Sony Sports Network ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, ජාත්‍යන්තර රූපවාහිනී විකාශන සහ අන්තර්ජාල ප්‍රවාහ විකාශන කටයුතුද සංවිධානය කරමින් පවතී.

 

Test Twenty තරග ආකෘතිය Gaurav Bahirvani විසින් නිර්මාණය කර ඇති අතර, එහි හිමිකාරීත්වය Parity Sports India Private Limited සමාගම සතුය.

 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *