Where the Life Meets Cricket

info@cricketlk.com

'යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය අප සතුව නැහැ'

යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය දැනට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසයි.

 

කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාසික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, “මේ වන විට ව්‍යාපෘතියේ කටයුතු සිදුවෙමින් පවතිනවා. අපට අවශ්‍ය ව්‍යාපෘතියේ අවසන් විෂය පථය කුමක්ද යන්න අප නැවත සමාලෝචනය කළ යුතුයි.

 

මොකද මුලින් අනුමත කරන ලද ව්‍යාපෘතිය පිළිබඳ අපගේ සමාලෝචනයට අනුව, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔරොත්තු දෙන මට්ටමකට වඩා වැඩියි. එමෙන්ම එය නිම කිරීම සඳහා අවශ්‍ය වත්මන් මූල්‍ය ශක්තිය අප සතුව නැහැ,” යනුවෙනි.

 

යාපනය, මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2025 වසරේ සැප්තැම්බර් 01 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය පසුගිය වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකි වනු ඇති බවට එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය.

යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතියේ මුල් සැලසුම තම වත්මන් මූල්‍ය ධාරිතාවට ඔරොත්තු නොදෙන බව ප්‍රකාශ් ෂාෆ්ටර් පැවති සාකච්ඡාවකදී කියා සිටියේ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

 

මෙම ව්‍යාපෘතිය දැනට සමාලෝචනය වෙමින් පවතින බවත්, පවතින ප්‍රතිපාදනවලට අනුකූලව එහි විෂය පථය නැවත ඇගයීමට ලක් කරමින් සිටින බවත් ඔහු කියා සිටියේ ය.

 

යාපනය ප්‍රදේශයේ ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් කැපවී සිටින නමුත් ව්‍යාපෘතියේ පරිමාණය කෙතරම් දුරකට යා යුතු දැයි සලකා බලන බව ඔහු කියා සිටියේ ය.

 

“යාපනය තුළ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අප කැපවී සිටිනවා. නමුත් අපගේ වත්මන් මූල්‍ය ප්‍රතිපාදන ධාරිතාවන්ට අනුව, යාපනය ව්‍යාපෘතිය සඳහා අප කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද යන්න පිළිබඳව අප නැවත සමාලෝචනය කරමින් සිටිනවා,”

“යාපනයේ පමණක් නෙවෙයි, වෙනත් කිසිම ස්ථානයක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වෙනුවෙන් ආයෝජනය කිරීමට තරම් ප්‍රතිපාදන මේ මොහොතේ අප සතුව ඇතැයි මා සිතන්නේ නැහැ,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

 

යාපනය මුල් ව්‍යාපෘතිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකින්, ක්‍රීඩා නගරයකින් (Sports City) සහ නිවාස ව්‍යාපෘතියකින් සමන්විත විය.

 

මෙම ව්‍යාපෘතියේ ඇති දැවැන්ත බව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු වත්මන් ප්‍රතිපාදනවල සැබෑ තත්ත්වය හේතුවෙන් ම, මෙම අවධියේදී ඒ පිළිබඳව සලකා බැලීමට නොහැකි බව අපට හැඟී යන බව ෂාෆ්ටර් පැවසීය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *