Where the Life Meets Cricket

info@cricketlk.com

IPL යන්න අවසර ඉල්ලා නුවන් තුෂාරගෙන් නඩුවක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර තමන්ට මෙවර IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිල අවසරය (NOC) ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින් කොළඹ දිසා අධිකරණය වෙත නඩුවක් ගොනුකර තිබෙනවා.
 
අදාළ නඩුව අද (02) දිනයේදී කැඳවූ අතර එය නැවත විභාගයට ගැනෙන්නේ අප්‍රේල් 09 වන බ්‍රහස්පතින්දා දිනයි.
 
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිළධාරී ඇෂ්ලි ද සිල්වා යන අයවලුන් නම් කර තිබෙනවා.
 
මෙම වසර සඳහා නුවන් තුෂාරට විදේශීය ලීග් තරග සඳහා සහභාගී වීමට අවශ්‍ය නිල අවසරය (NOC) ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු ඊට සපුරාලිය යුතු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙනුයි.
 
තම ක්‍රීඩක කොන්ත්‍රාතුව මෙම වසරේ මාර්තු 31 වනදායින් පසු අවසන් වන නිසා තමන් එය නැවත අලුත් නොකරන බවත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වන බවත් ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවට නුවන් තුෂාර සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
 
තමන්ගේ වත්මන් ශාරීරික යෝග්‍යතාවයේ කිසිදු වෙනසක් නොමැති බවත් පසුගිය විදෙස් ලීග් තරගාවලි සඳහා සහභාගී වීමේදී අදාළ ශාරීරික යෝග්‍යතාවය මත පදනම්ව ඒවාට සහභාගී වීමට නිල අවසරය (NOC) හිමිවූ බව ද සඳහන්.
 
යම් හෙයකින් එම අවසරය (NOC) නොලැබී ගියොත් මෙවර IPL තරගාවලියෙන් තමන්ව ඉවත් කිරීමට වැඩි ඉඩක් පවතින බවත් ඒ ඔස්සේ තමන්ට ආර්ථික වශයෙන් විශාල ආදායම් අහිමි වී යන බවත් සහ අනාගත අවස්ථා ද අහිමි විය හැකි බවටත් නුවන් තුෂාර පෙන්වා දී තිබෙනවා.
 
පැමිණිලිකාර පාර්ශවය විසින් ඉල්ලීම වී ඇත්තේ තමන්ට තරගාවලිය සඳහා සහභාගී වීමට අවශ්‍ය නිළ අවසරය (NOC) හිමි බවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් සහ එම අවසරය (NOC) නිල වශයෙන් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අතුරු හා ස්ථිර නියෝගයක් ලබාදෙන ලෙසටයි.
 
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *