Where the Life Meets Cricket

info@cricketlk.com

අවුරුදු 40 ක වාර්තාවක් බිඳදැමූ ඉතාලි ක්‍රිකට් පුහුණුකරු

අද අප සමඟ සාකච්ඡාවට එක්වන්නේ ඉතාලියේ රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු මනෝජ් රොද්‍රිගෝ මහතා.

01. පළමුවෙන්ම ඔබේ වත්මන් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?

මේ වනවිට මගේ මූලික කාර්යභාරය තමයි රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ තරුණ ක්‍රීඩකයින්ගේ (Junior Cricketers) ප්‍රවර්ධනය වෙනුවෙන් සහ රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ අභිවෘද්ධිය තකා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක.

02. ඉතාලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාව වර්තාමනයේ ඇත්තේ කිනම් ස්ථානයකද?

ඇත්තටම ඉතාලිය තුළ ක්‍රීඩාව වර්තමානයේ හොඳ තත්වයක තියනවා. ඒකට ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ 2026 දී පැවැත්වෙන T20I ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉතාලි කණ්ඩායමේ සුදුසුකම් ලැබීම. ඉතින් මම විශ්වාස කරනවා එතනින් පස්සේ ඉතාලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රවර්ධනයක් ඇතිවෙයි කියලා.

03.ඉතාලිය කියන්නේ පාපන්දු ක්‍රීඩාව ජනප්‍රියම රටක් ලෝක කුසලානය පවා ඔවුන් ජයග්‍රහණය කළා. එවන් රටක ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමට ඇති බාධක කවරේද?

ඉතාලිය කියන්නේ පාපන්දු ක්‍රීඩාවට ඉතාමත් ජනප්‍රිය රටක් වුණත් මේ වෙද්දි ඉතාලියේ සංක්‍රමණික ප්‍රජාව විශාල ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩාව එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම අද වෙද්දි ඉතාලිය ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 100 ක් පමණ තිබෙනවා. ඒක ඇත්තටම ලොකු ධනාත්මක ලකුණක්. ඒ වගේම ඉතාලියේ Junior Cricket Level එකේ ලොකු තරගකාරීත්වයක් නිර්මාණය වෙලා තියනවා. කොහොම වුණත් ඉතාලි පාසල් තුළට තවමත් ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරන්න අපිට හැකියාව ලැබිලා නැහැ. නමුත් පසුගිය වසරේ මම ස්වේච්ඡාවෙන් පාසල් 07 කට පමණ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ශිල්පීය දැනුම ලබාදීමට කටයුතු කළා. ඇත්තටම ඒ පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ඉතාලි දරුවෝ ඉන්නවා. ඉතින් මේ සඳහා ඉදිරියේදී සාධනීය වැඩපිළිවෙළක් සූදානම් වෙමින් තියෙනවා. ඉදිරියේදී ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතාලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරන්න තියෙන බාධක ගැන කතාකරනවා නම් ඉතාලි ජාතිකයෝ බොහෝ වෙලාවක් අව්වේ ඉදළා කරන ක්‍රීඩාවල යෙදෙන්න ටිකක් අකමැත්තක් දක්වනවා. ක්‍රිකට් කියන්නේ ටිකක් ලොකු වෙලාවක් එක්ක දිවෙන ක්‍රීඩාවක්. ඒ නිසා එයාලා කැමති පාපන්දු වගේ පැයකින් පැය එක හමාරකින් වගේ අවසන් වන ක්‍රීඩාවලට. ඒක තමයි මම දකින විදිහට තියෙන ලොකුම බාධකය. කොහොම වුණත් මම හිතනවා Short Format එකේ තරග ටිකක් සංවිධානය කරලා ඉතාලි ජාතිකයන්ව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරවන්න හැකිවෙයි කියන එක. ඒ වගේම ඉතාලිය ඇතුළේ තියෙන ක්‍රීඩාංගණ පහසුකම් (Ground Facilities) Professional Level එකක නොමැති වීමත් බාධකයක්. භාෂාව හැසිරවීම කියන කරුණත් ඉතාම වැදගත්. භාෂාව හැසිරවීම සාර්ථක මට්ටමක නැත්නම් අපිට ඉතාලි දරුවන් අතරට ක්‍රිකට් ක්‍රීඩාව අරගෙන යන්න බැහැ. කොහොම වුණත් ඉතාලියට සංක්‍රමණය වෙලා ඉන්න ආසියාතික ප්‍රජාවගේ දරුවන් විශාල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරනවා කියන එක මම විශ්වාස කරනවා.

04. ඉතාලිය තුළ දැනට වාසය කරන ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දක්වන දායකත්වය පැහැදිළි කළහොත්?

ඇත්තටම ඉතාලිය තුළ Junior සහ Senior ක්‍රිකට් ක්ෂේත්‍රයන් හි ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලාංකිකයෝ. විශේෂයෙන්ම Junior ක්‍රිකට් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික ක්‍රීඩා සමාජ මේ වෙද්දි 10 ක් පමණ තිබෙනවා. මම හිතන විදිහට Junior ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉන්දීය සහ පකිස්තාන ක්‍රීඩා සමාජ තියෙන්නේ තුනක් හෝ හතරක්. ඉතින් එතනින්ම පැහැදිලි වෙන දෙයක් තමයි ඉතාලි ක්‍රිකට් ක්‍රීඩාව තුළ ලොකු බරක් දරන්නේ ශ්‍රී ලාංකිකයන් කියන එක.

05. යුරෝපයේ සෙසු රටවල් හා සැසදීමේදී ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති සුවිශේෂිතා මොනවාද?

යුරෝපයේ තියෙන සෙසු රටවලට සාපේක්ෂව ඉතාලි Junior ක්‍රිකට් ක්ෂේත්‍රය ඉතාමත් හොඳ තරගකාරී මට්ටමක තියනවා කියලා මම හිතනවා. ඒ වගේම අනිත් රටවලට සාපේක්ෂව කණ්ඩායම් සහ ක්‍රීඩාංගණ වැඩි ප්‍රමාණයක් තියනවා. ඒ නිසා ආසියාතික ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ඉතාලියේ ඉන්නවා. ඉතින් මේ දේවල් තමයි මම දකින විදිහට ඉතාලි ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන සුවිශේෂීතා.

06. ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ශ්‍රී ලංකාවෙන් ගතහැකි සහයෝගය සඳහා ඔබගේ මැදිහත්වීම කෙබඳුද?

ලංකාවේ පාසල් ක්‍රිකට්වල සෑම ස්ථරයකම ක්‍රීඩා කරපු ඒ වගේම ක්‍රීඩා සමාජවල හැම ස්ථරයකම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙන් විදිහට මම දන්නවා Developement Cricket සහ Professional Cricket කියන අංශ දෙක අතර වෙනස. ඒ නිසා මම හිතනවා Professional Cricket කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන එකම නෙවෙයි කියන එක. Umpiring, Coaching, Management සහ Audience යන අංශ 04 ම Professional Cricket වලදී නිවැරදිව තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි ක්‍රිකට් දියුණු කරන්න පුළුවන්. ඉතාලියේ තියෙන ගොඩාක් Junior ක්‍රිකට් ක්‍රීඩා සමාජ, කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ඒවා. ඉතින් මම හිතනවා අපට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ශ්‍රී ලංකාවෙන් සහාය ලබාගන්න පුළුවන්. ඒ වගේම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවේ දේශීය තරගවල (Domestic) ක්‍රීඩා කරවන්න අපිට පුළුවන්. ඒ දේවල් වලට අවශ්‍ය සම්බන්ධතා ගොඩනගලා දෙන්නත් අපිට පුළුවන්. ඒ වගේම ලංකාවේ Level 4 වල ඉන්න වෘත්තීයමය පුහුණුකරුවෝ සම්බන්ධ කරගෙන එයාලගේ දැනුම සහ අත්දැකීම් ඉතාලි ක්‍රීඩකයෝ එක්ක බෙදාහදාගන්න පුළුවන්. ඒ වගේම විනිසුරුවරුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදාගන්න එකත් ඉතාමත් වැදගත්. එතකොට තමයි ඉතාලිය වගේ රටක ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දියුණු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ සම්බන්ධතා ගොඩනගා ගැනීම කරන්න අපිට හැකියාව තිබෙනවා. ඇත්තටම ඒ මට්ටමට ගියොත් තමයි ක්‍රීඩකයෙකුට වෘත්තීයමය තත්වයකට එන්න හැකියාව ලැබෙන්නේ. මම දකින විදිහට ඒ සඳහා අනිවාර්යයෙන්ම මගපෙන්වීම සිදුකළ යුතුයි. ඒ වගේම මම පෞද්ගලිකව Junior ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩකටයුතු වෙනුවෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව එක්ක සම්බන්ධ වෙලා ඉන්න වගකිවයුතු චරිත එක්ක වැඩකටයුතු කරනවා. උදාහරණයක් විදිහට අපේ Junior කණ්ඩායමක් තරග කිහිපයක් සඳහා ලංකාවට අරන් යන්න මම සාකච්ඡා කරලා තිබුණා. ඉතින් ඒ වගේම අපිට පුළුවන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න වගකිවයුතු චරිත එක්ක කතාකරලා ඉතාලි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නංවන්න වගේම තරග සංචාර සංවිධානය කරගන්න. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේවල් හරියටම කලමනාකරණය කරගෙන කරන්න ඕනේ කියලා මම හිතනවා.

07. පුහුණුකරුවෙකු ලෙස ඔබ නියෝජනය කරන ක්‍රීඩා සමාජය මෑතකදී ලැබූ ජයග්‍රහණ මොනවාද?

අවුරුදු 40 ක ඉතාලි ක්‍රිකට් ඉතිහාසය තුළ එක් වසරකදී Junior Level ශූරතා 03 ක් දිනාගත් එකම ක්‍රීඩා සමාජය බවට රෝයල් පාදුවා ක්‍රීඩා සමාජය පත්වුණා. ඒක අපි ලබපු විශාල ජයග්‍රහණයක්. ඒ වගේම ඒ වසරේදීම අපේ කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබලා අනුශූරතාවය ජයග්‍රහණය කළා. ඒ අවුරුද්දේ අපේ පිරිමි කණ්ඩායමටත් හැකියාව ලැබුණා අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගන්න. ඉතින් පුහුණුකරුවෙක් විදිහට ඒ ජයග්‍රහණ ගැන මට ගොඩාක් සතුටුයි. ඒ වගේම 2025 අවුරුද්දේ පළමුවෙන්ම පැවැත්වුණු 17 න් පහළ තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් ඒකත් මෑතකදී අපි ලබපු සුවිශේෂී ජයග්‍රහණ අතරට ඇතුලත්. මේ වෙද්දි අපේ පිරිම කණ්ඩායම පන්දුවාර 50 තරගාවලියේ සහ විවෘත (Open) T20 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබලා තියනවා.

08. ඔබගේ කටයුතු සඳහා ඉදිරි ඉලක්ක සහ අභියෝග පිළිබඳව පැහැදිළි කිරීමක් කළහොත්?

අපි මේ වගේ රටකට ඇවිල්ලා ඉද්දි ඇත්තටම අපේ දරුවෝ ගොඩාක් කැමතියි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න. දෙමව්පියේ මේ වගේ රටකට ආවාම දරුවන්ටත් ඒ රටේම ජීවත් වෙන්න වෙනවා. නමුත් මම දන්නවා මගේ පුහුණුවීම්වලට සහභාගී වන දරුවෝ හැමදෙනාම වගේ ආසයි ශ්‍රී ලංකා ජර්සිය අදින්න. ඒක ගොඩාක් දරුවෝ මාත් එක්ක කියනවා සහ මම ඒක දන්නවා. ඉතින් කොහොමහරි දරුවන්ට ඒ වටිනා අවස්ථාව උදාකරලා දෙන එක තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව දැනට අපිත් එක්ක පුහුණුවීම්වල හිටපු දරුවෝ ගත්තොත් 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරපු දරුවන්ගෙන් විශාල පිරිසක් ඉතාලි 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඉතින් ඒ දරුවන්ට ඉතාලි ජාතික කණ්ඩායමේ දොරටු විවිර කරදෙන එකත් මගේ තවත් ඉලක්කයක් ඒ වගේම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම යහපත්, බුද්ධිමත්, ගුණගරුක ක්‍රීඩකයන් සමාජයට බිහිකිරීම තමයි පුහුණුකරුවෙකු විදිහට මගේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ.

මගේ ඉලක්කවලට යන්න තියෙන ලොකුම අභියෝගය තමයි කාලය. ඇත්තටම අපි ඉතාලියේ රැකියාවක නිරතවන ගමන් තමයි ක්‍රීඩා වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපිට ලැබෙන කාලය සීමිතයි. කොහොම වුණත් ඒ සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක තමයි ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ. ඉතින් ඒ අභියෝගය කොහොමහරි ජයගන්න එක තමයි මගේ අරමුණ. ලංකාවේ වගේ නම් සතියකට අවම වශයෙන් දවස් තුනක් පුහුණුවීම් තිබෙනවා. නමුත් මෙහේ පාසල් කාලය ආරම්භ වුණාට පස්සේ ළමයින්ට පුහුණුවීම්වලට සහභාගී වෙන්න පුළුවන් සෙනසුරාදාට හෝ ඉරිදාට පමණයි. ඉතින් ඒකත් අපි ජයගන්න ඕනේ ලොකු අභියෝගයක්. ළමයි ක්‍රීඩා කරනවා වගේම අධ්‍යාපන කටයුතුවලටත් මුල්තැන දෙන්න ඕනේ.

09.සමස්තයක් ලෙස යුරෝපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ ඔබ දකින ආකාරය පැහැදිලි කරන්න ?

ඇත්තටම යුරෝපයේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙද්දි තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව 1996 ට පෙර පැවති තත්වයට සමාන මට්ටමක. තාම හොඳ වෘත්තීය මට්ටමක වගේම ක්‍රීඩකයන්ට හොඳ ගෙවීම් ක්‍රමවේදයක් සහ අනර්ඝ තත්වයේ ක්‍රීඩාංගණ පහසුකම් යුරෝපා ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාම නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම හොඳ පුහුණුකරුවන් සහ ඔවුන්ට සාධනීය ගෙවීම් ක්‍රමවේදයක් ද යුරෝපයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තවමත් දක්නට ලැබෙන්නේ නැහැ. තාම යුරෝපයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය වෙමින් පවතිනවා කීවොත් නිවැරදියි. කොහොම වුණත් මම විශ්වාස කරනවා තව අවුරුදු 4 කින් ඉතාලිය, ස්කොට්ලන්තය, ජර්මනීය, ස්වීඩනය වගේ රටවල් ඉක්මනින්ම සෙසු රටවලට අභියෝගයක් වෙයි කියන දේ. ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ කැපවීම එක්ක ඒ රටවල ක්‍රිකට් අනාගතය ගැන සුබවාදී පිළිතුරක් අපේක්ෂා කරන්න අපට පුළුවන්.

Share This Post

Post a comment