Where the Life Meets Cricket

info@cricketlk.com

දෙවන ටෙස්ට් සටන ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.

 

තරගය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස්කරගෙන සිටි අතර, ඒ වන විට ඔවුහු ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 216ක් ඉදිරියෙන් පසුවූහ.

 

ශ්‍රී ලංකා දෙවන ඉනිම ගෞරවාන්විත තත්ත්වයකට රැගෙන ආ සොනාල් දිනූෂ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස නොදැවී ලකුණු 133ක් රැස්කළේය.

පන්දු 264කට මුහුණ දෙමින් මිනිත්තු 420ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

 

මීට අමතරව පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් සහ කේෂර නුවන්ත ලකුණු 46ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට දායක වූහ.

 

මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකරගත් නවක පිතිකරුවෙකු වන කේෂර නුවන්ත, සොනාල් දිනූෂ සමගින් එක්ව 7වන කඩුල්ල වෙනුවෙන් පන්දු 246කින් ලකුණු 112ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.

 

පසුව 8වන කඩුල්ල වෙනුවෙන් පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සමග එක්වූ සොනාල් තවත් ලකුණු 47ක සබඳතාවක් පැවැත්වීය.

 

එහිදී ළහිරු කුමාර පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 12ක් රැස්කරමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට දැක්වූ සහය කැපී පෙනුණි.

 

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා සිටි අතර, සොනාල් ලකුණු 7ක් හා කේෂර ලකුණු 3ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියහ.

 

අද දිනය තුළ කඩුලු 3ක් පමණක් අහිමි කරගනිමින් තවත් ලකුණු 200ක් ඉනිමට එකතු කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

 

දෙරට අතර පළමු තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ හෙයින් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් විය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *