Where the Life Meets Cricket

info@cricketlk.com

ශම්මි අද දැවී යයිද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

 

අද (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ශම්මි සිල්වා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

 

ඔහුට තවත් වසරකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කිරීමේ හැකියාව පවතී.

 

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය වාර්තා පළවිය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිගින් දිගට ම සිදුවූ පරාජයන් සහ පරිපාලන දුර්වලතා හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේදී කොළඹ පිහිටි ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්විණි.

 

වර්තමානයේ දැඩි කතාබහට ලක්වන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ඉහළම පාර්ශ්ව හමුවී වත්මන් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

 

2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවති ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ඔවුන්ගේ හිතවතුන්ට වියදම් දැරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් මගින් කරුණු හෙළිවී තිබිණි.

 

එමෙන් ම, සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අවස්ථා රැසකදී කරුණු වාර්තා කර තිබිණි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් ද ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා එල්ල වී තිබේ.

 

2023 වසරේ නොවැම්බර් මස 09 වන දා “ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු දූෂිත නිලධාරීන් ඉවත් කිරීම” යන මැයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ විවාදයක් පැවැති අතර එහිදී එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

 

එවකට ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ 2018 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව හරහා නියෝගයක් ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බව ය.

 

කෙසේ වුව ද 2023 වසරේ නොවැමබර් මස 05 වන දා එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් අතුරු පාලක කමිටුවක් ලෙස පත් කරනු ලැබූහ.

 

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ අතුරු කමිටුවට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අතුරු තහනම් නියෝගයක් ගනු ලැබූ අතර පසුව මෙම ගැටලුව විසඳීම සඳහා එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ විසින් අලි සබ්රි අමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.

 

මෙම ගැටලුව හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ එම ධූරයෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු පත් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනතුරුව පියවර ගත්තේ ය.

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දුර්වල ප්‍රතිඵල හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් නම් කරනු ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 නොවැම්බර් මස 10 වන දා ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටවනු ලැබුවේ ය.

 

“ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන් ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ රාජ්‍ය පාලනය, නියාමනය හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබූ ලිපියේ සඳහන් විය.

 

කෙසේ වුව ද මාස 03කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබු තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය.

 
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉරණම විසඳෙන විශේෂ විධායක කමිටු රැස්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (28) කැඳවා ඇති අතර එහිදී ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වෙයි.

 

අදාළ තීරණය එළැඹෙන බදාදා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

 

වත්මන් ක්‍රිකට් පරිපාලන ඉල්ලා අස්වුවහොත් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉරාන් වික්‍රමරත්න ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

ශම්මි පරිපාලනය ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව දැඩිව සලකාබැලීම  , ඉදිරි වසරේ කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන්ගේ විනය අනිවාර්යෙන් සලකා බැලීම ආදි ජනප්‍රිය නොවන දැඩි තීන්දු කිහිපයක්ම ගෙන ඇති පසුබිමකයි.

 

එමෙන්ම ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම්ව ඔවුන්ට ගෙවීම් සිදුකිරීම , නිසිමට්ටමට නොමැතිනම් ඔවුන්ගේ ගෙවීම් මෙන්ම, වැටුප් ද කප්පාදු කිරීම ආදි දැඩි තීන්දුද ඒ අතරට ඇතුළත්.

 

ශම්මි පරිපාලන ගෙන ආ ක්‍රමවේදයට අනුව ඉදිරියේදී තරගාවලි ජයග්‍රහණ සඳහා ප්‍රසාද දීමනා හිමිවන්නේ ශ්‍රෙණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 ට එරෙහිව ලබන ජයග්‍රහණ සඳහා පමණය.

 

එමෙන්ම ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස යන ඕනෑම ආකෘතියක තරගාවලියක් පරාජය වුවහොත්, එම තරගාවලියේ තරග ගාස්තුවෙන් 10%ක මුදලක් කපා හැරෙනු ඇත.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *