ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වෙනසක් ඊයේ (09) දිනයේ දී සිදුවුණා.
ඒ අනුව, හිටපු ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය වෙනුවට ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
පසුගියදා නිමාවූ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඔහු එම තනතුරෙන් ඉවත් වන බවට සඳහන් කර තිබුණා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් පුහුණුකරුවෙකු ගේ සේවය ලබා ගැනීම කෙරෙහි මූලික අවධානයක් යොමු කළ බවටයි එවක පළවූ මාධ්‍ය වාර්තා රැසක් පෙන්වා දුන්නේ.
මීට පෙර ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විදෙස් ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් කටයුතු කළ අතර ඔහු 2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසානය දක්වා එම ධුරයේ රාජකාරී කටයුතුවල නිරත වුණා.
සනත් ජයසූරිය අන්තර්වාර පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පත්කරනු ලැබුවේ 2024 වසරේදී පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරග සංචාරය පදනම් කරගෙනයි.
එතැන් පටන් ඔහු මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
සනත් ජයසූරිය ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත්කම් දැක්වූවා.
වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව ද්වීපාර්ශවික එක්දින තරගාවලියක් ජය ගැනීමට අදාළ කාලසීමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවුණා.
එමෙන්ම,වසර 10 කට පසු එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක ජය වාර්තා කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම සැබවින්ම සතුටට කරුණක්.
තරග 2 – 0 ක් ලෙස නවසීලන්තයට එරෙහිව 2024 වසරේදී පූර්ණ එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කාලසීමාවේ දී අවකාශය හිමිවුණා.
ඊට අමතරව ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීම ද එම සන්ධිස්ථාන අතරට අයත් වනවා.
කෙසේවෙතත්, මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන තරගාවලිවල දී සහ ද්වීපාර්ශවික තරගාවලිවල දී තරමක් දුර්වල දක්ෂතා ප්‍රදර්ශනය කළ ආකාරයක් පෙනීගියා.
ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා වැඩිදියුණු වී ක්‍රිකට් ලොවේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.