අද ඇරඹෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඉතිහාසය ගැන ඔබ දන්නවාද?
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධාකාර වූ සම්ප්‍රදායන් පවතිනවා.
අළුබඳුන ටෙස්ට් තරගාවලිය ඉන් ප්‍රමුඛ වන්නේ එය අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායන් රැසක එකතුවක් වීම හේතුවෙනුයි.
ඒ හා සමානම ප්‍රසිද්ධියක් උසුලන ටෙස්ට් තරගයක් වන්නේ සෑම වසරකම නත්තල් දිනයට පසුදින එනම් දෙසැම්බර් 26 වනදා පැවැත්වෙන බොක්සිං දිනයේදී ආරම්භ වන ටෙස්ට් තරගයයි.
චාරිත්‍රයක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයට සහභාගී වන අතර එය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීම ද විශේෂත්වයක්.
කුමක්ද මේ බොක්සිං දින ටෙස්ට් තරගය?
මෙම වචනය ඇසූ පමණින් ඇතමුන් එය බොක්සිං ක්‍රීඩාව හා සම්බන්ධ බවට වරදවා වටහා ගන්නා ආකාරයක් දැකගත හැකියි.
කෙසේවෙතත්, මෙය කිසිසේත් බොක්සිං ක්‍රීඩාව හා සම්බන්ධ වන්නේ නැහැ.
නත්තල් දිනට පසුදින දිළිඳු ජනතාවට සහ සේවකයන්ට විශේෂ තෑගි පාර්සල් හෙවත් “Gift Boxing” ලබාදීම ආරම්භ වන්නේ 1800 වසරේදී පමණ සිටයි.
මෙම දිනයේදී පළමු වරට ක්‍රිකට් තරගයක් පවත්වා ඇති බවට සාක්ෂි හමුවන්නේ 1865 වසරේදී පවත්වා ඇති වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවති ෂෙෆීල්ඩ් කුසලාන තරගයයි.
එහෙත්, පළමු වරට බොක්සිං දිනයේදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1950 වසරේදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි.
එහි තවත් විශේෂත්වයක් වූයේ දෙසැම්බර් 22 වනදා ආරම්භ වී දින දෙකක් තරගය පවත්වා දින දෙකක විවේකයකින් පසු තරගයේ ඉතිරිය දෙසැම්බර් 26 වනදා යළි ආරම්භ කිරීමයි.
පළමුවරට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් බොක්සිං දිනය හෙවත් දෙසැම්බර් 26 වනදා ආරම්භ කළ බවට සාධක හමුවන්නේ 1968 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා තරග සංචාරයේදීයි.
ඔස්ට්‍රේලියාව සෑම වසරකම දෙසැම්බර් 26 වනදා ටෙස්ට් තරගයක් ආරම්භ කිරීමේ චාරිත්‍රය අරඹනු ලැබුවේ 1980 වර්ෂයේ සිටයි.
එම සම්ප්‍රදාය මෙතෙක් බිඳදමා ඇත්තේ එක් වසරකදී පමණක් වන අතර ඊට ශ්‍රී ලංකාව ද සම්බන්ධ වීම විශේෂත්වයක්.
1989 වසරේදී දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ජාත්‍යන්තර තරගයක් පවත්වා ඇති බැවින් එම වසරේදී බොක්සිං දින ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ නැහැ.
2020 වසරේ සිට බොක්සිං දින ටෙස්ට් තරගයේ වීරයාට විශේෂිත වූ මල්ලාග් පදක්කම පිරිනැමීම ආරම්භ වූයේ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රීඩක ජොනී මල්ලාග් ට ගෞරවයක් ලෙසයි.
ඒ අනුව, 2020 වසරේ සිට 2024 වසර දක්වා එම පදක්කම දිනාගැනීමට අජින්කයා රහානේ – ස්කොට් බොලන්ඩ් – ඩේවිඩ් වෝනර් සහ පැට් කමින්ස් (අවස්ථා 02 කදී) සමත් ව තිබෙනවා.
මේ වනවිට දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි රටවල් ද බොක්සිං දින ටෙස්ට් තරග පවත්වන නමුත් ඒවා අඛණ්ඩව සම්ප්‍රදායක් ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් දින දර්ශනයේ වැදගත්ම සිදුවීම් දෙකක් වන අළුබදුන තරගාවලිය සහ බොක්සිං දින ටෙස්ට් තරගය මෙවර එක්වර යෙදී තිබීම ද සුවිශේෂී කරුණක් වනවා.


