Where the Life Meets Cricket

info@cricketlk.com

වෙනස්කම් රැසක් සමග අළුබඳුන 2025 ඇරඹෙයි

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඓතිහාසික ටෙස්ට් තරගාවලිය වන ‘අළු බඳුන ටෙස්ට් තරගාවලිය‘ ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී ආරම්භ වෙයි.

 

තරග 5කින් සමන්විත මේ තරගාවලිය නිමා වීමට ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 8 වැනිදාය.

 

74 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් තරග වදින අතර, පළමු තරගයේදී ඔස්ට්‍රේලියානු පිල මෙහෙයවීමේ වගකීම ස්ටීව් ස්මිත්ට පැවරී තිබේ.

 

ලොව පැරණිතම ටෙස්ට් තරගාවලිය වන මෙය 1882 වසරේ ආරම්භ වූ අතර, මෙතෙක් දෙරට අතර පැවති තරගාවලි 73 අතරින් 34ක ජය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර, එංගලන්ත පිල ජයගෙන ඇති තරගාවලි සංඛ්‍යාව 32කි.

 

තරගාවලි 7ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.

 

තරග ලෙස ගත් කළ මෙතෙක් අළු බඳුන තරගාවලි යටතේ තරග 345ක් පවත්වා ඇති අතර, ඉන් ඔස්ට්‍රේලියාව තරග 142ක් ජය ගනිද්දී, එංගලන්තය ජයගෙන ඇත්තේ තරග 110ක් පමණි.

 

තරග 93ක් ජය පරාජයෙන් තොරව වී තිබේ.

මෙවර තරගාවලිය එංගලන්තයට විශේෂිත එකක් වන අතර, වසර 15කට පසු ඔවුන් ඔස්ට්‍රේලියාවේදී අළු බඳුන ජයක් සොයා අද පිටියට පිවිසෙයි.

 

එංගලන්තය ඔස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කළ අවසන් තරගාවලි 10න් ජයගෙන ඇත්තේ එක් තරගාවලියක් පමණක් වීම විශේෂත්වයකි. ඒ 2010 වසරේදීය.

 

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදීත් වැඩි වාසි ඔස්ට්‍රේලියානුවන් සතුවී ඇති බවට ඉතිහාසය සාක්ෂි සපයයි.

 

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වය යටතේ තරගාවලි 36ක් (තරග 172ක්) පවත්වා ඇති අතර, ඉන් තරගාවලිය 20ක් ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී, එංගලන්තය ජය ගෙන ඇත්තේ තරගාවලි 14ක් පමණි.

 

එය තරග ලෙස ගත් විට ඔස්ට්‍රේලියාව තරග 90ක් ජය ගනිද්දී එංගලන්ත ජය තරග 56ක් ලෙස සටහන්ව තිබේ.

 

තරගාවලි 2ක් ජය පරාජයෙන් තොරවී ඇති අතර, තරග 26ක් විසඳුමකින් තොරවී ඇත.

 

තරග 5කින් සමන්විත මේ තරගාවලියේ දෙවැනි තරගය දෙසැම්බර් 4 වැනිදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වන අතර, තෙවැනි තරගය දෙසැම්බර් 17 ඇඩිලේඩ්හිදීත්, සිවුවැනි තරගය දෙසැම්බර් 26 මෙල්බර්න්හිදීත්, 5 වැනි සහ අවසන් තරගය ජනවාරි 4 වැනිදා සිඩ්නිහිදීත් ආරම්භ වීමට නියමිතය.

 

මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියටත් ඇතුළත් වන අතර, මේ වන විට ඔස්ට්‍රේලියාව එහි පෙරමුණ ගෙන සිටින්නේ සහභාගි වූ තරග 3ම ජය ගනිමිනි.

 

තරග 5ක් ක්‍රීඩා කර ඇති එංගලන්තය තරග 2ක් පමණක් ජය ගෙන 6 වැනි තැන සිටී.

 

පළමු තරගයට එක්වන ඔස්ට්‍රේලියානු සංචිතය: ස්ටීව් ස්මිත් (නායක), ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කෙරී (කඩුලු රකින), බ්‍රෙන්ඩන් ඩොගට්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස් (කඩුලු රකින), උස්මාන් කවාජා, මාර්නස් ලැබුෂේන්, නේදන් ලයන්, මිචෙල් ස්ටාක්, ජේක් වෙදරල්ඩ්, බෝ වෙබ්ස්ටර්.

 

එංගලන්ත සංචිතය: බෙන් ස්ටෝක්ස් (නායක), සැක් ක්‍රව්ලි, බෙන් ඩකට්, ඔලි පෝප්, ජෝ රූට්, හැරී බෲක්, ජේමි ස්මිත්, බ්‍රයිඩන් කාර්ස්, ගස් ඇට්කින්සන්, ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ්, ෂොයිබ් බෂීර්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *