ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මන් නැමැත්තාට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 02ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකරු පසුව ඇප මත මුදාහැරුණු බව කියා සිටියේය.
මෙම විත්තිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බංග්ලාදේශ ජාතිකයකු බවත් මෙම නඩුකරය හේතුවෙන් විත්තිකරුට වසර එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳීසිටින අතර මේ හේතුවෙන් ඔහුගේ පෞද්ගලික කටයුතු මෙන්ම ව්‍යපාරික කටයුතුත් අඬාල වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
ඒ අනුව මෙම විත්තිකරු මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව තමන් නීතිපතිවරයා වෙත වාචිකව හා ලිඛිතව කරුණු සැලකිරීම් සිදුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ, විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.
ඉන් අනතුරුව නඩුව දෙසැම්බර් මස 8 වන දා කැඳවීමටද නියම වුණි.

One Response
සාධාරණය ඉටුවේය කියලා බලාපොරොත්තු වෙනවා.