සේයාරුවක
සැඟවුණු කතාව
2019 කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඒතරම් හොඳ කාලයක් නම් නෙවෙයි. මම එහෙම කියන්නේ ඒකට පසුබිම් වුණු හේතු ගොඩාක් තිබුණු නිසා. 2015 එක්දින ලෝක කුසලානයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගටම අහිමිරි පරාජයන් රැසකට උරුමකම් කියන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ පසුබිමක් එක්ක තමයි අපි 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්න එංගලන්තයට යන්නේ.
ජූනි 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසුණේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. තරගාවලියේ 27 වන තරගය ලෙසින් දිග හැරුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනවා. හැබැයි ඉතින් නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 09 ක් දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 232 ක් පමණයි.
එදා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරපු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 115 කට මුහුණ දෙමින් ලකුණු 85 ක් රැස් කළා. ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පිළිවෙලින් ලකුණු 49 ක් සහ ලකුණු 46 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.
කණ්ඩායම් දෙක සංසන්දනය කරපු විස්තර විචාරකයෝ සඳහන් කළේ නම් ප්‍රබල එංගලන්ත කණ්ඩායමට නම් මේ ඉලක්කය පහසුවෙන් හඹායන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ හැමදෙයක්ම වෙනස් වෙන්න ගියේ බොහෝම පොඩි වෙලාවයි.
තරගය ආරම්භක මොහොතේ ඉදලා ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන බලඇණිය එංගලන්ත පිතිකරුවන් එකින් එක දවා ගැනීමට සමත් වුණා. අවසානයේදී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි බෙන් ස්ටෝක්ව එක අන්තයක තනි කරලා සෙසු එංගලන්ත පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 212 කට දවාගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
අවසානයේදී ලකුණු 232 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් රැකගනිමින් ප්‍රබල එංගලන්ත කණ්ඩායමට නොසිතූ විරූ පරාජයක් උරුම කර දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට එදා හැකියාව ලැබුණා.
ඇත්තටම ඒ අපූරු දවසේ අපේ පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම ගැන නම් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෑ. මේ කාලේදී අපේ පන්දු යවන්නේ මේ වගේ අඩු ලකුණු සහිත ඉලක්ක රැසක් ආරක්ෂා කරලා අපිට ජයග්‍රහණ රැසක් ගෙනල්ලා දීලා තියනවා..


