මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් අද (30) පැවැත්වීමට නියමිතයි.
ඒ ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතරයි.
එම තරගය ජයගන්නා කණ්ඩායම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.
එහිදී අයර්ලන්ත කණ්ඩායම ඇෆ්ඝනිස්ථානය පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදා වනවා.
එමෙන්ම, මෙම තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හැකියි.
කෙසේවෙතත්, යම් හෙයකින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම අයර්ලන්තය පරාජයට පත් කළහොත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලැබූ දරුණු පරාජය හේතුවෙන් කණ්ඩායමට හිමි දළ ලකුණු වේගය අඩු වීම මෙම තත්වයට ප්‍රධාන වශයෙන් බලපෑවා.
ඒ අනුව, අද (30) පැවැත්වෙන ඇෆ්ඝනිස්ථාන – අයර්ලන්ත තරගයේ ප්‍රතිඵලය මත සුපිරි 06 දෙනාගේ වටයේ පළමු කණ්ඩායමෙන් ඔස්ට්‍රේලියාව සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අනෙකුත් කණ්ඩායම තීරණය වෙනු ඇති