Where the Life Meets Cricket

info@cricketlk.com

පීසා අවන්හලෙන් ක්‍රිකට් පිටියට ඇවිත් ඉතාලියේ පළමු ලෝක කුසලාන තරග ජයට මුල් වූ ලාංකිකයා: ක්‍රිෂාන් කළුගමගේ

පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ නේපාලය අතර තරගයේදී ඉතාලි කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රිෂාන් කළුගමගේ ලකුණු 18කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය.

මෙම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6කට ලකුණු 180ක් රැස් කිරීමට සමත් වූ නේපාල කණ්ඩායම ලකුණු 123කට දවා ගැනීමට ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම ප්‍රමුඛව දායක විය.

ඉතාලි කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 124ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය.

ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියක සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඉතාලිය සමත් විය.

1991 ජූනි 16 වන දා ශ්‍රී ලංකාවේදී උපත ලැබූ ක්‍රිෂාන් කළුගමගේ මේ වන විට 34 හැවිරිදි වියේ පසුවෙයි.

මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු සිය දෙමාපියන් සමග ඉතාලියේ පදිංචියට ගොස් ඇත්තේ, 2007 වසරේදී ඔහු 16 හැවිරිදි වියේ පසුවෙද්දී ය.

ඉතාලියට යාමට පෙර ඔහු පාසල් සමයේදී 13න් පහළ සහ 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වලට ක්‍රීඩා කර තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අපේක්ෂාවෙන් පසුවූ ක්‍රිෂාන්ට සිතුණේ, ඉතාලියේ පදිංචියට යාම සිය සිහිනය සැබෑ කර ගැනීමට බාධාවක් වනු ඇති බව ය.

ඒ, ඉතාලිය යනු ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුළන රටක් නොවූ හෙයිනි.

එහෙත්, ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට මාවතක් විවර විය.

ඒ, රෝමා ක්‍රිකට් සමාජයට ඇතුළත් වීමට ඔහුට අවස්ථාවක් හිමිවීම හරහා ය.

2015 වසරේදී එම ක්‍රිකට් සමාජයට එක්වූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය.

ඔහු සිය වෘත්තිය සඳහා ලුකාහි පීසා අවන්හලක් තෝරාගෙන තිබූ බව මාධ්‍ය වාර්තාවල පළවෙයි.

සඳුදා සිට සෙනසුරාදා දක්වා ඔහු එහි සේවය කරයි.

සෙසු කාලය ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යොදවයි.

ඔහු පවසන්නේ, ඉතාලියේදී රැකියා රැසක් තමන්ට හිමි වුව ද, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කාලය කැප කිරීමට අවශ්‍ය වූ හෙයින් එම රැකියා භාර නොගෙන පීට්සා අවන්හලක සේවය කිරීමට තීරණය කළ බව ය.

කෙසේ වෙතත්, ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් පසු පීට්සා අවන්හලෙන් ඉවත් වී පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත පවසා තිබේ.

මුල් කාලයේ ඔහු වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ ද, නිරන්තරයෙන් ඔහු ආබාධවලට ලක්වූ හෙයින් ඔහුට සිය පන්දු යැවීම වෙනස් කිරීමට සිදුවූ බව ක්‍රිෂාන් පවසයි.

ඒ අනුව, රෝමා ක්‍රිකට් සමාජයේ නිර්මාතෘ ප්‍රභාත් එක්නැලිගොඩගේ මග පෙන්වීම මත ඔහු පා දඟ පන්දු යැවීම තෝරා ගත්තේ ය.

ඔහු පළමු වරට ඉතාලිය නියෝජනය කරමින් ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළේ, 2022 වසරේදී ය.

 

-BBC Sinhala-

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

1710563050-ICC-Mens-T20-World-Cup-l
Read More
1710563050-ICC-Mens-T20-World-Cup-l
Read More
SSC
Read More