නවසීලන්ත කණ්ඩායමට අවසන් මහා තරග යනු එක්තරා ආකාරයක අපලයක් යැයි සමාන කිරීමේ වරදක් මා දකින්නේ නැත.
නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගවලදී දක්වන අසාර්ථක හා දුර්වල ක්‍රීඩා විලාසය ඊට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.
ක්‍රිකට් ඉතිහාසය දෙස විශ්ලේෂණාත්මක ඇසින් බැලූ කළ ඒ බව තවදුරටත් තහවුරු කරගැනීමේ අවකාශය හිමි වනවා.
ICC ය විසින් සංවිධානය කළ ප්‍රධාන තරගාවලි 08 කදී නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ශූරයන්ගේ කුසලාන තරගාවලි තුනක් – එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක් – ලෝක ටෙස්ට් ශූරතාවලි එකක් සහ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ද ඒ අතරට අයත් වීම සුවිශේෂී කරුණක්.
කෙසේවෙතත්, එම තරගාවලි අතුරින් නවසීලන්ත කණ්ඩායමට ශූරතාවය ජයගැනීමට හැකිවී ඇත්තේ අවස්ථා 02 කදී පමණයි.
2000 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන ශූරතවය සහ 2021 වසරේ පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියත් ඔවුන් ජයග්‍රහණය කළා.
කෙසේවෙතත්, නවසීලන්තයට මෙතෙක් එක්දින හා පන්දුවාර 20 ලෝක කුසලානයක පහස විඳගැනීමට අවස්ථාව හිමි නොවීම සැබවින්ම කණගාටුවට කරුණක්.
නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරග සඳහා ක්‍රීඩා කරන්නේඅනවශ්‍ය පීඩනයක් සහිතව බවට බොහෝ දෙනා මත පළ කරනවා.
ඒ හේතුවෙන් ඔවුන්ට අවසන් මහා තරග රැසක දී පරාජයන් උරුම වන ආකාරයකුයි පෙනී යන්නේ.
ශාපයක් ලෙසින් නවසීලන්ත කණ්ඩායම පසුපස ලුහුබඳින අවසන් මහා තරග නම් වූ අපලය කවදා කෙසේ නිම වේවිද?