ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට
ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම රට කුමක්ද යන පැනය ඕනෑම ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයෙකුගෙන් විමසුවහොත් ඊට ලැබෙන සරලම පිළිතුර වන්නේ දකුණු අප්‍රිකාව යන්නයි.
මා එලෙස සඳහන් කිරීමට හේතුවූයේ ඉකුත්දා නිමාව දුටු කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයම පමණක් නොවේ.
ඊට දිගුකාලීන ඉතිහාසයක් පවතින බවද සැබෑවකි.
පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය පිළිබඳ නැවත පිරික්සීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම අවස්ථා 05 කදී අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ 1992 – 1999 – 2007 – 2015 – 2023 යන වසරවලදී පැවති පිරිමි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදීයි.
කෙසේවෙතත් ඒ සෑම අවස්ථාවකදීම දේදුණු දේශයට අවසන් මහා තරගයක පහස විදදරා ගැනීමට අවස්ථාවක් උරුම වූයේ නැහැ.
පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය තුළද දකුණු අප්‍රිකා කණ්ඩායම අවස්ථා 02 කදී අවසන් පූර්ව තරගයටත් එක් අවස්ථාවකදී අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබා ගත්තා
2009 සහ 2014 යන වසරවලදී පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී අවසන් පූර්ව වටයටත් 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයටත් දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ගත්තද එම සියලු අවස්ථාවලදී ඔවුන්ට අත්වූයේ පරාජයන් පමණයි.
කෙසේවෙතත් 2023/25 ලෝක ටෙස්ට් ශූරතාවලිය දිනාගැනීමට දේදුණු දේශයට අවකාශය හිමිවුණා.
එය සැබවින්ම සතුටට කරුණක්.
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ගමන් මගද මේ හා සමාන දුක්බර එකකි.
කාන්‍තා එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ දකුණු අප්‍රිකා කණ්ඩායම අවස්ථා 03 කදී අවසන් පූර්ව වටයට ද එක් අවස්ථාවකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
2000 – 2017 – 2021 යන වසරවලදී පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී අවසන් පූර්ව වටයත් මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට තම කුළුදුල් එක්දින ලෝක කුසලාන දිනාගැනීමට නොහැකි විය.
විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළද දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට අත්වූයේ මෙවැනිම ආකාරයේ ඛේදනීය ඉරණමකි.
2014 – 2020 තරගාවලිවලදී අවසන් පූර්ව වටයටත් 2023 සහ 2024 වසරවලදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට තම කුළුදුල් විස්සයි විස්ස ලෝක කුසලානය මෙතෙක් දිනාගැනීමට හැකිවූයේ නැහැ.
සැබවින්ම දකුණු අප්‍රිකාව වනාහී ක්‍රිකට් ලොවේ අවාසනාවන්තම කණ්ඩායම නොවේද?
– Udara Jayawardhana –


