Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් ලොක්කෙක් අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමරිකානු ඩොලර් 187,000 ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී සිටින එහි හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වරෙන්තු නිකුත් කළේය.

 

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2018 වසරේදී ගොනුකරන ලද නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් විය.

 

නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු අනාවරණය වූයේ, සැකකරු නඩුවේ මුල් අවධියේදී දිගින් දිගටම අධිකරණයේ පෙනී සිටි නමුත් පසුව විදෙස්ගත වීම සඳහා අධිකරණ අවසරය ලබාගෙන ඇති බවයි.

 

ඉන් අනතුරුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 192 වැනි වගන්තිය ප්‍රකාරව, විත්තිකරුවෙකු නොමැතිව නඩුවක් පවත්වාගෙන යාමට ඇති ප්‍රතිපාදන මත වසර දෙකක කාලයක් ඔහුගේ නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිට ඇත.

 

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයා විසින් පැමිණිලි පාර්ශවයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන අවසන්ව ඇති බවත්, එමගින් තම සේවාදායකයා නිවැරදිකරු බව තහවුරු වී ඇති බවත්ය.

 

ඒ අනුව තම සේවාදායකයා මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසත්, ඔහු අධිකරණය මගහැර ගොස් නොමැති බවත්, අධිකරණ අවසරය මත විදේශගතව සිටින බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

 

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට යොමු කර ඇති බැවින් සැකකරුට තවදුරටත් අධිකරණයට නොපැමිණ සිටීමට අවසර දිය නොහැකි බවයි.

 

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් මස 30 වැනිදාට නියම කළේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *