Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දීය තරගය ක්‍රීඩා කරන්න පකිස්ථානයෙන් කොන්දේසි 03 ක්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කිරීමත් සමග උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින්, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් අතර ඊයේ පස්වරුවේ රැස්වීමක් පවත්වා තිබෙනවා.
 
එහිදී පවතින තත්ත්වය සමථයකට පත් කර ගැනීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි මාධ්‍ය ආයතන වාර්තා කර ඇත්තේ.
 
ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට අයි.සී.සීය තීරණය කිරීමට ප්‍රතිචාර දක්වමින් තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය වර්ජනය කිරීමට පාකිස්තාන රජය තීරණය කළා.
 
නමුත්, එසේ කළහොත් පාකිස්තානයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවට අයි.සී.සීය පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනයට අනතුරු ඇගවීමක් සිදු කර තිබුණා.
 
ඉරිදා ලාහෝර් හි පැවති සාකච්ඡාවේදී පාකිස්තානය අයි.සී.සීයෙන් සිදු කර ඇති ඉල්ලීම් වන්නේ, අයි.සී.සී ආදායමෙන් බංග්ලාදේශයට ලැබෙන මූල්‍යමය කොටස වැඩි කිරීම, T20 ලෝක කුසලාන තරගාවලියෙන් නෙරපා හැරියද බංග්ලාදේශයට සහභාගී වීමේ ගාස්තුවක් ලබා දීම සහ අනාගත ICC තරගාවලියක සත්කාරකත්වය සැපයීමට බංග්ලාදේශයට අවස්ථාව ලබා දීම යන ඉල්ලීම් තුනයි.
 
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi අද දිනයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා හමු වී ඉන්දීය තරගය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද වාර්තා කර තිබෙනවා.
 
ඉන්දියාව සමග ක්‍රීඩා කිරීම වර්ජනය කරන බව පාකිස්තානය නිවේදනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද පාකිස්තානයට ලිපියක් යොමු කරමින් එම තීරණය පිළිබද යළි සළකා බලන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබුණා.
 
ඒ, එම තීරණය තුළින් ශ්‍රී ලංකාවට ද දැඩි මූල්‍යමය අලාභයක් සිදු වන බැවින්.
 
තරග කාලසටහනට අනුව ඉන්දු-පාකිස්තානය තරගය එළඹෙන 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
 

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පකිස්ථානය සහ ඉන්දියාව අතර මූලික වටයේ තරගය පෙබරවාරි 15 ​​වන දින පැවැත්විය හැකි ද?

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයින් පකිස්ථානයට පැමිණීමෙන් පසු, පකිස්ථානය ඇතුළු ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පිළිතුරු අපේක්ෂාවෙන් සිටින ප්‍රශ්නය මෙය යි.

පකිස්ථානය ඉන්දියාවට එරෙහි T20 ලෝක කුසලාන තරගය වර්ජනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ (පෙබරවාරි 08) ලාහෝර්හිදී රැස්වූ නමුත් එහි ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

 

ICC උපසභාපති ඉම්රාන් කවාජා සහ විධායක කමිටු සාමාජික මුබාෂිර් ​​උස්මානි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි හමුවූ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් ද එම රැස්වීමට සහභාගී විය.

 

මීට පෙර, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, පකිස්ථානයට පැමිණි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානී අමිනුල් ඉස්ලාම් පකිස්ථාන නිලධාරි සල්මන් නසීර් විසින් පිළිගනු ලැබූ බව ය. පසුව, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ රැස්වීමේ ඡායාරූප ද ප්‍රකාශයට පත් කළේ ය.

 

“මම මේ දේවල් ගැන අදහස් දක්වන්නේ නැහැ, මේ ගැන අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු අදහසක් ඉදිරිපත් කරලත් නැහැ. සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත භාර දී තිබෙනවා.

 

ඔවුන් මොන තීරණයක් ගත්තත්, අපි ඒක පිළිගන්නවා,” යනුවෙන් ඉරිදා මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපති රජීව් ශුක්ලාගෙන් විමසූ විට ඔහු පිළිතුරු ලබා දෙමින් පැවසුවේ ය.

 

ආරක්ෂක ගැටලු හේතුවෙන් බංග්ලාදේශය තම තරග ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස ඉල්ලා සිටීමත් සමග මතභේදය ආරම්භ වූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. ඉන්පසුව, පකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පෙබරවාරි 15 ​​වන දින තම කණ්ඩායම ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කරන බව ය.

 

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පසුව පැවසුවේ, බංග්ලාදේශයට සහය දැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ය.

 

පකිස්ථානය ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කළහොත් ඔවුන්ට තරගයේ ප්‍රසාද ලකුණු අහිමි වනු ඇත.

 

මෙම තත්ත්වය ICC හි වත්මන් රූපවාහිනී අයිතිවාසිකම් පිළිබඳ ආරවුල් ද ඇති කළ හැකි අතර, වත්මන් ගිවිසුම් 2027 ලෝක කුසලානයෙන් පසුව කල් ඉකුත් වන බැවින්, පවතින අවිනිශ්චිතතාව අනාගත ගිවිසුම් කෙරෙහි ද බලපෑ හැකි ය.

 

ඉන්දියාවට එරෙහි විස්සයි 20 ලෝක කුසලාන තරගය වර්ජනය කිරීමට ගත් තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අනතුරු අඟවා තිබිණි.

 

“අදාළ සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ විසඳුමකට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එලෙඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන” බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබිණි.

 

පකිස්ථානයේ තීරණය “බරපතළ ප්‍රතිවිපාක” ඇති කළ හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසීය.

 

ICC T20 ලෝක කුසලානය පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පෙබරවාරි 15 ​​වන දින පැවැත්වීමට නියමිත ය.

 

කෙසේ වෙතත්, පෙබරවාරි 1 වන දින, පකිස්ථාන රජය X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පෙබරවාරි 15 ​​වන දින පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට සමග ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසීමෙන් වැළකී සිටින බව ය.

 

“ආරක්ෂක හේතූන් මත තවත් රටක් වෙනත් රටක ක්‍රීඩා කරන්න ප්‍රතික්ෂේප කරනවා නම්, බංග්ලාදේශයට ද ඒ අයිතිය තියෙන්න ඕන” බංග්ලාදේශයට සහය දක්වමින් පකිස්ථානය පවසයි.

 

මෙය පසුගිය වසරේ පකිස්ථානයේ පැවති චැම්පියන්ස් කුසලානය ගැන සඳහන් කිරීමක් වන අතර, එහිදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අතර පසුව ඉන්දියාවේ තරග ඩුබායිහිදී පැවැත්විණි.

 

පකිස්ථාන රජය එම ප්‍රකාශය නිකුත් කර පැය කිහිපයකට පසු, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් මෙතෙක් නිල නිවේදනයක් තමන් වෙත ලැබී නොමැති බවත්, පකිස්ථානයේ තීරණය ගෝලීය ක්‍රිකට් පද්ධතියට බලපෑමක් එල්ල කළ හැකි බවත් ය.

 

“2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේදී තෝරා ගත් තරග සඳහා සහභාගී වීම වෙනුවෙන් සිය ජාතික කණ්ඩායමට අවසර ලබා දීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් තමන් සැලකිල්ලට ගෙන ඇත” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

 

“ක්‍රීඩා කිරීමේදී තරග තෝරා ගැනීම ගෝලීය තරගාවලියක ජීව ගුණයට පටහැනි වන අතර, එහිදී සියලු ම කණ්ඩායම් කාලසටහන සාධාරණ ලෙස අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කරනවා.” එමෙන් ම පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිදු නිල ප්‍රකාශයක් ලැබී නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

 

“ICC තරගාවලි පදනම් වී ඇත්තේ ක්‍රීඩාවේ අඛණ්ඩතාව, තරගකාරිත්වය, අනුකූලතාව සහ සාධාරණත්වය මත ය. තෝරාගත් සහභාගීත්වය මගින් මෙම තරගාවලියේ ජීව ගුණයට හා කීර්ති නාමයට හානි වෙනවා.”

 

“ජාතික ප්‍රතිපත්තිමය කාරණාවලදී රජයන්ගේ කාර්ය භාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගරු කළත්, මෙම තීරණය ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ පකිස්ථානයේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් ඇතුළු ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ යහපතට හේතු නොවේ.”

 

“මෙම තීරණයේ බරපතළ දිගුකාලීන බලපෑම් ගැන පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපේක්ෂා කරන අතර, එය පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොටසක් වන සහ එයින් ප්‍රතිලාභ ලබන ගෝලීය ක්‍රිකට් පද්ධතියට බලපෑම් කළ හැකි යි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *