රබර් සෙරෙප්පු දෙකක් පැළැද ටෙනිස් බෝලෙන් පන්දු යවා ලෝකය ජය ගත් මේසන් බාස්සුන්නැහැගේ වීර පුතා .!

දිනෙන් දින ලබනා පරාජයන්ගෙන් දුර්වල ක්‍රීඩකයන් හා දුර්වල තේරීම් නිසා අර්බුදයක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමෙන් කණ්ඩායම ගලවා ගන්නට වෙරදරන නුවන් ප්‍රදීප්, දැනට ශ්‍රී ලංකාවේ සිටින හොදම වේග පන්දු යවන්නාය.

ලසිත් මාලිංග වැනි වේග පන්දු යවන්නන්ට ආබාධ නිසා තමන්ගේ ක්‍රිකට් දිවියේ හොඳම කාලය ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් වැය නොකලේය. ඉතිරිව සිටිනා ජාත්‍යන්තර තලයේ එකම වේග පන්දු යවන්නා ධම්මික ප්‍රසාද්ටද ආබාධයකි. එමනිසා ජාතික කණ්ඩායමට හොඳම වේගපන්දු යවන්නන්ගේ සේවය ටෙස්ට් ක්‍රීඩාව සඳහා අහිමි විය.

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන්නන් බොහෝ දෙනෙක් කොතරම් දුරට ජාත්‍යන්තර තලයට ගැලපේදැයි ගැටලුවකි. බොහෝ දෙනෙකුට අබාධය . වේග පන්දු යවන්නන් පිළිබද කතාවකින් සටහන ආරම්භ කරමි.

චමින්ද වාස් මෙරට වේග පන්දු පුහුණුකරු වූ සමයේ වේග පන්දු යවන්නන්ට පුහුණුවීම් අනිවාර්ය කලේය. ශ‍රීර යෝග්‍යතා මෙන්ම දැල් තුල පන්දු යවන කාළයද වැඩි කලේය. නමුත් බොහො ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පුහුණුවීම් වලට පැමිණීමට අකමැති , පුහුණුවීමට ඇති දින විනෝදාස්වාදය සදහා යොදවන පිරිස් ය. එම නිසා ඔවුන්ට වාස් වේග පන්දු යවන්නා වීම හිසරදයක් විය . එවකට නායක‍යා ඇතුලු බොහෝ ක්‍රීඩකයන් වාස්ගේ උපදෙස් වලට කන් නොදී පුහුණුකරුවා අපහසුතාවයට පත් කලහ. අවසානයේ ඔවුන් ක්‍රිකට් ආයතනයට පැමිණිලි කොට වාස් එලවා ගත්තේය.

දැන් මෙරට බොහෝ වේග පන්දු යවන්නන් මෙන්ම ක්‍රීඩකයන් නිතර ආබාධ වලට ලක් වෙති.

එහෙත් ආබාධ, අභියෝග මැද බුද්ධිමත්ව වේගපන්දු යවන ක්‍රීඩකයෙක්ද අපට සිටි. ඔහු නුවන් ප්‍රදීප් ය. නුවන් මුහුණ දෙන වර්තමාන අභියෝග මෙන්ම, ක්‍රිකට් ක්‍රීඩාවට පා තැබීමේදී ද ඔහුට මුහුණපාන්නට වූ අභියෝග බොහෝයි.

පාසල් ක්‍රීඩාවට සම්බන්ධ වී ආදි ශිෂ්‍ය සංගම් වලින් අනුග්‍රහය ලබා ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කොට යහමින් මුදල් උපයා කුමර ජීවිතයක් ගත කරන අතර ජාතික කණ්ඩායමට වරම් ලැබී ජාතික කණ්ඩායමේදීත් පුහුණුවීම් වලට කාළය වැය නොකොට පෙම්වතියන් හා මත්පැන් පිරිවරා ‍රාත්‍රී සමාජ ජාලා වල වීනෝද වන්නා ක්‍රීඩකයන් අතර නුවන් ප්‍රදීප් සැමගේම ගෞරවාදරයට පත් විය යුතු ක්‍රීඩකයෙකි.

එකල ටෙනිස් පන්දුවෙන් ගමේ තුත්තිරි පිටි‍යේ ක්‍රිකට් ක්‍රීඩා කල නුවන් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි සේ ඇලුම් කරන්නෙකු විය. එහෙත් ඔහුගේ දස්කම් දැක බලා ගැනීමට හෝ අගය කිරීමට කිසිවෙකු නොපැමිණි අතර ලෙදර් පන්දුවක් මිළදී ගැනීමට හෝ මුදල් නොමැති වූ ඔහුට ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට වත්කමක් ද නොවීය.

ප්‍රදීප්ගේ පියා පෙදරේරුවෙකි. මීගමුවේ ජීවත් වූ ප්‍රදීප් ගමේ තුත්තිරි පිටියේ ක්‍රීඩා කිරීමේදී ඔහුගේ වේගවත් පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවන් ගණන බොහෝය.

නුවන් ප්‍රදීප්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වන්නේ 2008/09 වසරවලදී යි. මාධ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලැබූ වේගපන්දු යවන්නන්ගේ වැඩමුළුවකට ප්‍රදීප් සහභාගී වූයේ සෙරෙප්පු කුට්ටමක් පැළඳගෙන ය. නවක එහෙත් උගත් වේගපන්දු යවන්නන් වේගමානය ඉදිරියේ පන්දු යවන අතරතුර ප්‍රදීප්ගේ වාරය උදා විය. අවසානයේදී සෙරෙප්පු කුට්ටමක් පැළඳගෙන සිටි “මේසන් බාසුන්නැහේගේ පුතා” යැවූ පන්දුවල වේගය රැස්ව සිටි සියළුදෙනා පුදුමයට පත්කළේය. පැයට කි.මී. 140කට වැඩි වේගයෙන් නුවන් ප්‍රදීප් එදා පන්දු යැවූයේ කිසිදු තාක්ෂණික පුහුණුවකින් තොරවයි.

එදා වැඩමුළුව මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා රවීන්ද්‍ර පුෂ්පකුමාර ආදීන් එක්ව සිටියේ ප්‍රදීප්ගේ වාසනාවටය. අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස් වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් දැවැන්තයෝද වැඩමුළුවට සහය දැක්වූවන් විය.

ප්‍රදීප්ගේ පන්දු යැවීමේ වේගය පිළිබඳ උනන්දු වූ රවින්ද්‍ර පුෂ්පකුමාර විසින් ඔහුව ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය වෙත යොමු කෙරුණේ ඉන් පසුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පිට ගමකෛන් හා ජනප්‍රිය නොවන පාසලකින් පැමිනෙන දක්ෂ ක්‍රීඩකයෙකුට තැනක් ලබා ගැනීම අතිශය අපහසුය.
‍රබර් සෙරෙප්පු දෙක දා වේගයෙන් පන්දු යවන ටෙනිස් පන්දුවෙන් ක්‍රීඩාවට අත් පොත් තැබු මේ ගමේ කොල්ලා කපා දැමීමට කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක ආදි ශිෂ්‍ය සංගම් වලට අවශ්‍ය විය.
ඒ ඔහුන්ගේ පාසල් වල සිටිනා ‘රෝස මල් යහනා වලින් පැමිනි පවුඩර් බේබිලා’ ගේ ස්ථානය ජනප්‍රීය පාසලකින් හෝ කොළඹින් නොපැමිණි මේසන් බාස්ගේ පුතාට හිමිවේ යැයි බියෙනි.
මෙම ආදිශිෂ්‍ය සංගම් චෝදනා කරන ලද්දේ ප්‍රදීප් ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවයි. ප්‍රදීප්ගේ වාසනාව යළිත් ඉදිරියට එන්නේ මේ මොහොතේදීය.

ක්‍රීඩක මාෆියාවට එරෙහි අර්ජුණ රණතුංග සහ අදාළ මාධ්‍ය ආයතනය ඔහු පසුපසින් සිටගත්තේය. ප්‍රදීප්ව BRC ක්‍රීඩා සමාජය වෙත යොමු කෙරෙන්නේ ඉන් පසුවයි. එහිදී ලබාගත් වීඩියෝ දර්ශනවලින් ප්‍රදීප්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ නිරවද්‍යතාවය තහවුරු විය.

දේශීය තරග බිම සිය වේගවත් පන්දුවලින් වර්ණවත් කළ ප්‍රදීප්ට 2010 වසරේදී ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟින් ඕස්ට්‍රේලියානු සංචාරයකට එක්වීමේ වරම හිමි විය. එහිදී ලබාගත් කඩුලු ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් නොවූවත් ප්‍රදීප්, ‘දෙපිලේම’ පන්දු යවන්නන් අතරින් වැඩි වේගයක් සහිත පන්දු යවන්නෙකු විය.

කෙමෙන් කඩුලු ලබා ගැනීමේ කලාව අධ්‍යයනය කළ ප්‍රදීප් 2011 දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය. එනමුත් පිතිකරණයට වඩාත් සුදුසු මැදපෙරදිග තණතිලි මත දී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැත.

පසුව ආබාධ සැණකෙළියක් බඳු වූ ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියේ වැඩි කාර්යභාරයක් ඔහුට හිමි වූ අතර ප්‍රදීප්ගේ සැබෑ දක්ෂතා එළිදැක්වුණේ ඒ යටතේයි. මේ වන විට නුවන් ප්‍රදීප් යනු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 24ක දී කඩුලු 61ක් දවාගත් වේගපන්දු යවන්නෙකි. කිසිදා නොබිඳිය හැකි ලෝක වාර්තාවක්ද 2016 වසරේ දී ඔහු සතු විය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 10,000වන “කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම” සතුවන්නේ නුවන් ප්‍රදීප් සතුවයි. එහිදී ප්‍රදීප් හමුවේ දැවී ගියේ ලෝක පූජිත පිතිකරු හෂීම් අම්ලා ය.

කෙසේ නමුත් ටෙනිස් පන්දුවෙන් සිය ගමන ඇරබි මේ යෞවනයා මුල් කාලයෙ දැඩි ලෙස ආබාධ වලට ලක් වන්නට විය. නමුත් දැඩි කැපවීමෙන් පුහුණුවීම් වල යෙදුනු සහ ව්‍යායාම වල නිරතව වූ ප්‍රදීප් එම අබාධ අභියෝගය ජය ගත්තේය. අදටත් ශ්‍රී ලංකාවේ සංචිතයේ වැඩිම වේලාවක් පුහුණූවීම් වල යෙදෙන හා ව්‍යායාම සිදු කරනා ක්‍රීඩකයා නුවන් ප්‍රදීප් ය.

 

පියවරෙන් පියවර ඉහළට නැග, තරග 24ක් සටන්කිරීමෙන් පසු තම ටෙස්ට් දිවියේ පළමු ‘කඩුලු 5 දස්කම’ දක්වන්නට ප්‍රදීප්ට හැකිවූයේ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිවයි.

“මම හත් අට වතාවක් කඩුලු 4 බැගින් දවා ගත්තා. මේ මගේ පළමු කඩුලු 5. මට ඉතාම සතුටුයි මට ඒක ලබා ගන්න පුළුවන් වුන එක ගැන.” එම දස්කමෙන් පසුව නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය. ඉන්දියාවට එරෙහිව පළමු ඉනිමේදී ඔහු විසින් දවාගත් කඩුලු ගණන ලකුණු 132කට 6කි. 2010 වසරෙන් පසු ගාල්ලේදී වේගපන්දු යවන්නෙකු විසින් කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාව මෙය වේ.

සෙරෙප්පු කුට්ටමක් පැළඳ ආරම්භ කළ ඔහුගේ ක්‍රිකට් දිවිය ඉන් වසර 10ක් ඉක්මයන තැනදී සටහන් වන්නේ “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා” යන මුදුනතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ, පසුගියදා මේ බව තහවුරු කළේය.

“ඔහු සෑම විටම උනන්දුවෙන් දිවගොස් පන්දු යවන කෙනෙක්. ඔහුට පන්දුව දෙපසටම දෝලනය කරන්න පුළුවන්. එංගලන්තයේදීත් හොඳින් පන්දු යැව්වා වගේම ඔහු සිම්බාබ්වේට එරෙහිවත් හොඳින් පන්දු යැවුවා. මේ වෙලාවේ අපට ඉන්න අංක එකේ වේගපන්දු යවන්නා ඔහු තමයි.” ගුරුසිංහ පවසා තිබිණි.

ක්‍රීඩකයන් ජාත්‍යන්තර පිටිය තුළ සදාකල් නොරැඳේ. ජ්‍යෙෂ්ඨයන් පිටවන විට නවකයන් දස්කම් දැක්විය යුත්තේ කෙසේද යන කරුණට යමෙකු පිළිතුරු සොයන්නේ නම් නුවන් ප්‍රදීප් යනු ඊට හොඳම උදාහරණයකි. නමුත් ඒ කිසිවකට වඩා ඔහුගෙන් උගත හැකි පාඩම නම්, “කිසිදු සම්පතක් හෝ හව්හරණක් නැතැයි සිතන නවකයන්ට ලොව ඉහළම තලයේ ක්‍රීඩා කිරීම ගැන සිහින මැවීමට සෑම අයිතියක්ම ඇත යන්න” යි. ඒ මන්ද යත් ඔබ දක්ෂයෙකු නම් නුවන් ප්‍රදීප්ට සේම වාසනාව ඔබ දෙස බලන දිනය කවදාක හෝ උදාවිය හැකි බැවිනි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *