මහේල හා මුරලි ඉන්දියාව අසරණ කළ හැටි – අතීතයෙන් පාඩම් උගෙන ජයග්‍රහනය වෙත යමු .!

“ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉන්දියාවට එනවා. මම සුබ පතනවා ලංකාවට ඒ තරගාවලිය හොඳට කරන්න කියලා. මගේ රට පැරදිය යුතුයි කියලා මම කියන්නෙ නැහැ. අවංකවම ඉන්දියාව කියන්නෙ විශාල රටක්‌. ඒ හින්දා බලාපොරොත්තුත් ඒ තරම් විශාලයි. මේක ඔබලාට දුෂ්කර කාලයක්‌. එතනින් ගොඩ එන්න මේ වෙලාවෙ කවුරු හරි සුවිශේෂී හැකියාවක්‌ පෙන්වලා නැගී සිටිය යුතුයි. දිනුම පැරදුම මොකක්‌ වුණත් මිනිස්‌සුන්ට මතක හිටින ආකාරයෙන් ක්‍රීඩා කළ යුතුයි.” මේ ඔවදන කපිල් දේව්ගෙන් ශ්‍රී ලංකා පිලට ලබාදුන් ආශිර්වාදයකි.

ශ්‍රී ලංකාව පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණය ලැබුවේ 1985 දී කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු කණ්‌ඩායමට එරෙහිවය. එවකට ඉන්දියාව යනු එක්‌දින ක්‍රිකට්‌ ලෝක ශූරයන්ය. නමුත් ඉන්දියාවේදී තවමත් ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තරගයක්‌ දිනා ගැනීමට නොහැකිව තිබේ.

“පළමු අවුරුදු පහළොව තුළදී ලංකාව එක දිගට පරාජය වුණා. ඒත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් තරග බලන එක අතහැරියේ නැහැ. දිගින් දිගටම තරග නැරඹුවා. ඔවුන් බලාපොරොත්තු වුණා ලංකාවෙ ක්‍රිකට්‌ කවදා හරි හොඳ තැනකට එන බව. ශ්‍රී ලංකාව මේ කාලයේ අමාරු තැනකට වැටිලා ඉන්නවා. එතැනින් ගොඩ එන්න කවුරු හරි නැගී සිටිය යුතුයි.” යනුවෙන්ද කපිල් දේව් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඔළු සුද්ද කර දැමීමට ඕනෑ තරම් උපදෙස්‌ සහ ශක්‌තීන් ලැබී තිබේ. දැන් ඔවුන්ට අවශ්‍ය ජයග්‍රාහී ගොඩ වැඩි කර ගැනීමේ සටනට අවතීර්ණ වීමයි. මෙවර ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්‌ සහ රංගන හේරත් හැරුණු කොට අනෙක්‌ කිසිවකු ඉන්දියාවේදී ටෙස්‌ට්‌ ක්‍රීඩා කර නොමැත. එයද ශ්‍රී ලංකාවට මහත් අභියෝගයකි. නමුත් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉන්දියාවට තැබු ටෙස්‌ට්‌ වාර්තා විශිෂ්ඨ ගණයේ ඒවා බවද චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්‌ඩායම සිහියේ තබා ගත යුතුය.

කරන්නට බැරි දෙයක්‌ නොමැත. ඒ සඳහා අවශ්‍ය කැපවීම සහ අධිෂ්ඨානය ක්‍රීඩා පිටිය මැදට ගෙන යැමට හැකි වුවහොත් අවසානය ජයග්‍රහණයකින් කෙළවර වේ. මුත්තයියා මුරලිදරන් සහ සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්‌ට්‌ තරග ඉතිහාසයේ කැපී පෙනෙනම ක්‍රීඩකයන් දෙපලකි. එයිනුත් මුරලිගේ වික්‍රමය අති විශිෂ්ඨය.

මුරලිදරන් සිය අවසන් ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කළේද ඉන්දියාවට එරෙහිව ගාල්ලේදීය. ටෙස්‌ට්‌ කඩුලු 800 ලබා ගැනීමට ඉන්දියාව සමග තරග තුනම මුරලිට ක්‍රීඩා කිරීමට තිබුණද ඔහු පළමු තරගයේම කඩුලු අටක්‌ සමග අටසීය සටහන් කර ගනිමින් සමුගැනීමේ වගකීම භාර ගත්තේය. අවසානයේදී මුරලිට අවසන් කඩුල්ල ලබා ගැනීමට සෑහෙන වේලාවක්‌ ගත විය. කෙසේ හෝ මුරලි දිනුවේය. ඒ අටසිය වැනි කඩුල්ල පමණක්‌ නොව ඔහුගේ අවසානයද ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණයකින් කෙළවර කර ගනිමිනි.

දෙරට අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ කඩුලු සියයක්‌ දවා ගත් එකම පන්දු යවන්නාද මුරලිදරන්ය. මුරලි ටෙස්‌ට්‌ තරග 22 කදී කඩුලු 105 ක්‌ දවා ගෙන ඇති අතර ඉන්දියාව වෙනුවෙන් අනිල් කුම්බ්ලේ ටෙස්‌ට්‌ තරග 18 කදී කඩුලු 74 ක්‌ දවාගෙන තිබේ.

එදා ඉන්දියාවට මුරලි පන්දුවෙන් දස්‌කම් දක්‌වද්දී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර පිතිප්‍රහාරය ඉන්දියාවට හිසරදයක්‌ විය. සචින් ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ තරග 25 කදී ශතක නවයක්‌ සහ අර්ධ ශතක හයක්‌ සමග මුළු ලකුණු 1995 ක්‌ ලබා ගනිද්දී එහි දෙවැනි තැනට පත් වූයේ මහේල ජයවර්ධනය. ඔහු තරග 18 කදී ශතකය හයක්‌ සහ අර්ධ ශතක අටක්‌ සමග මුළු ලකුණු 1820 ක්‌ ලබා තිබේ. එහි තෙවැනි තැන මුළු ලකුණු 1508 ක්‌ ලබා ගත් රාහුල් ඩ්‍රාවිඩ් හට හිමිව තිබේ. කෙසේ වෙතත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්‌ට්‌ තරග ඉතිහාසයේ පිතිකරුවන් අතරින් ඉහත තිදෙනාට පසුව ලකුණු දහස පසු කිරීමට සමත්ව ඇත්තේ කුමාර් සංගක්‌කාර (1352), අරවින්ද ද සිල්වා (1252), විරේන්ද්‍ර ෂෙවාර්ග් 1239), මොහොමඩ් අසරුදීන් (1215) සහ සව්රව් ගංගුලි (1064) යන පිතිකරුවෝ වෙති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්‌ට්‌ තරග ඉතිහාසයේ කැපී පෙනෙන වාර්තා කිහිපයක්‌ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වුවද දෙරට අතර පැවැති ටෙස්‌ට්‌ තරග 41 කදී ඉන්දියාව තරග 19 ක්‌ ජය ගනිද්දී ශ්‍රී ලංකාවට ජය ගත හැකිව ඇත්තේ තරග හතක්‌ පමණි. මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන්නේ 16 වැනි ටෙස්‌ට්‌ තරගාවලිය වේ. මීට පෙර පැවැති තරගාවලි 15 න් ඉන්දියානුවන් ජයග්‍රහණ අටක්‌ ලබද්දී ශ්‍රී ලංකාව තරගාවලි තුනක්‌ ජය ලබා තිබේ.

කෙසේ වෙතත් ඉන්දියානුවන් සිය මව්බිමේදී “මුරණ්‌ඩු” බව සැබෑවකි. නමුත් ශ්‍රී ලංකාව ඉතිහාසයේ පටන් ඉන්දියානුවන්ට අභියෝගයක්‌ වූ බවට ඕනෑ තරම් සාක්‌ෂි තිබේ. ලොව වැඩිම ටෙස්‌ට්‌ ඉනිම (952) ඉන්දියාවට එරෙහිව 1997 දී කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පිහිටුවීමටද ශ්‍රී ලංකාව සමත්ව තිබේ. සනත් ජයසුරියගේ ලකුණු 340 දෙරට අතර ටෙස්‌ට්‌ තරගයකදී පිතිකරුවකු ලැබු ඉහළම ලකුණු සංඛ්‍යාවයි. දැන් ඇත්තේ ඉතිහාසයේ අමරණීය බව රැකගෙන වාර්තමානයේ නැගී සිටිමින් අනාගතයට හැඩ ගැසීමේ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අදිටන් කර ගැනීමයි.

“ඉන්දියාවට තමයි පීඩනය ගොඩක්‌ තියෙන්නෙ. ඒ අය අංක එකේ ඉන්නේ. අපිට තියෙන්නෙ සුපුරුදු දක්‍ෂතාවලට එන්න. ඒ දක්‍ෂතාවට ආවොත් අපිට ඔවුන්ව පරාජය කරන එක අපහසු වෙන එකක්‌ නැහැ. මට කණ්‌ඩායම ගැන ලොකු විශ්වායක්‌ තියෙනවා ඉන්දියාවට හොඳ අභියෝගයක්‌ ලබාදෙයි කියලා.” යෑයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තරගාවලියට පිටත්ව යැමට පෙර පැවසීය. පාකිස්‌තානයට 2-0 කින් ටෙස්‌ට්‌ ජයක්‌ ලබා ගෙන ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වලින් යම් සැනසීමක්‌ ලබා ඇති අවස්‌ථාවක ඉන්දියානු තරගාවලිය අතීත දක්‍ෂතාවලට වඩා ඉදිරියෙන් තබා ගැනීමට චන්දිමාල්ගේ පිල සමත් වුවහොත් එය ශ්‍රී ලංකාවේ යළි නැගිටීමේ සන්ධිස්‌ථානය වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *